පහුගිය සතියේ අවස්ථා ගණනාවකදී විවිධ කාන්තා සංවිධාන වල සහ මාධ්‍ය වල මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් කතා කරමින් ඉල්ලා සිටියේ ” කාන්තා දිනය ගැන පොඩි අදහසක් දෙන්න” කියලයි. ඉතින් මං අදහස් දුන්නා. සමහරු සෑහීමකට පත්වුණා. සමහරු කිව්වා ඊට වඩා ගැම්මක් එන විදියට කියන්න කියලා. තවත් අය ඇහුවා ටිකක් සමාජයට වදින්න කියන්න බැරිද කියලා. කොහොම වුණත් මං මගේ අදහස කිව්වා මිසක්, මගේ නොවන මතයක් ඉදිරිපත් කරන්න කැමති වුණේ නෑ.
මට හිතෙන හැටියට මගේ අදහස භාරගැනීම, නොගැනීම සමාජය සතු කාර්යයක්. නමුත් මගෙන් ප්‍රශ්ණ අහපු කවුරුවත් මම දුන්නු උත්තර එක්ක අමනාප වෙන එකක් නෑ කියල නම් විශ්වාසයි.
කොහොම හරි, ලෝක කන්තා දින සැමරුම අවසන්. කාන්තාවන් ගැන කතා කිරීමත් අවසන්. ආයේ ලබන අවුරුද්දේ තමයි ඒ ගැන මතකය එළියට එන්නේ. ලබන අවුරුද්ද වෙනතුරු අපි මොකද කරන්නේ. මාර්තු 8 වෙනිදා ගෙවුණු වෙහෙසකර දිනය අවසානයේ මම කල්පනා කළා.
කාන්තා දිනය දා කාන්තාවන් ගැන ලියවුණු, කියැවුණු දේවල් සහ පහුගිය දවස් වල කාන්තා දිනය වෙනුවෙන් විවිධ අය මගෙන් අහපු ප්‍රශ්න ගැන මෙනෙහි කරනකොට මට හිතුණේ ගැහැණු අපි කවුද? කියලයි.
දවසක උදාව සහ නිමාව සැලසුම් කර ගැනීමට නොහැකි, ජීවිතේ නියමාකාරයෙන් තීන්දු තීරණයක් ගත නොහැකි, ඇතිවෙන වේදනාවන් වලදී දරාගත නොහැකි, අහිමිවීම් තුළ අඩමින්, තැවෙමින් අනෙකාට දෙස් තියමින් හූල්ලමින් සිටිමින්, වීසිකර දමන විට විසිවෙන තැනම හිද සියල්ල අත්හරිමින් සිටින්නිය ගැහැණිය ද? ඇත්තෙන්ම ගැහැණිය සමාජයේ මේ කියන අවස්ථා එකකට හෝ ඊට වැඩි ගණනකට මුහුණ දී ඇති බව රහසක් නොවේ. එය සත්‍යයක් වුවද කාලය ගෙවි යන වේගයෙන් අපේ ජීවිත ඵලදායි නොවුණොත් කුමකින් කුමක් සිදුවෙයිද?
ඒ අතරේ මෙහෙම අයත් හමුවෙනවා.
“අනේ මට කිසිම දෙයක් කර ගන්න වෙලාවක් නෑ. හරියට වැඩ වැඩියි. මට දැන් ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ. ” ඔතනින් තමයි තවත් අයගේ කතා පටන් ගන්නේ.
ඔය විදයට හිතන එක පැත්තකින් තියලා අපි අද දවසේ කරලා තියෙන වැඩ ටික ගැන නිවී සැනසිල්ලේ හිතලා බැලුවොත්?
අනුන්ට බැණ බැණ සිටීම, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, අනුන්ගේ ඕපදූප සෙවීම, අනුන්ගේ සතුටට එරෙහිවීම, තැත් තැන් වල කේලම්කීම, අන් අය පරයා නැගී සිටීම, වැනි කාරණා කීයක් ගැන අපි හිතලා තියෙනවද? ඒ සිතුවිලි වල දිගින් දිගටම හිතමින් කොයි තරම් නම් කාලයක් අපතේ යවලා තියෙනවද? එවැනි කාරණා නිසා මොන තරම් අපේ සිතුවිලි කිළිටි කරගෙන තියෙනවද?
මට හිතෙන හැටියට නම්, මේ වගේ දේවල් හිතනවා කියන්නේ අපරාදේ අපේ කාලය නාස්ති කරගන්නා එකයි.
අපි, අපි ගැන හිතමු. අපි ජීවත් වන්නේම පුදුමාකාර බියකින්. තමන්ටම තමන් ගැන ඇති බිය. මට නැතිවෙන දේ, මට ලැබෙන්න තියෙන දේ, මට අතහරින්න බැරි දේ, මගේ වටිනා දේ. මේ සියලු දේ ගැන බියක් ඇති කර ගෙනයි බොහෝ දෙනනෙක් ජීවත් වෙන්නේ එහෙම නැත්නම් හිත කම්පා කරගෙනයි. එහෙත් ඒ සියල්ල තුළ ඇත්තේ අතරමංවීම්ය, වේදනාවන්ය, දරා ගැනීමේ අපහසුතාවන්ය. මේවාට ඔරොත්තු නොදීමේ ප්‍රතිඵල ගැහැණු අපට අත්විදින්නට සිදුවූ අවස්ථා ඔබ ඔබම ගණනය කර බලන්න. මේ තුළ අහිමි වන ආදරය, සෙනෙහස, ආරක්ෂාව, රැකවරණය මේ සෑම අවස්ථාවකදීම ඔබ කොතරම් බියට පත්වනවා ද? වේදනාවට පත්වනවාද? බිරිදක්, මවක්, සොහොයුරියක්, පෙම්වතියක් යන මේ කුමන භූමිකාවකදී වුව සිදුවිය හැකි තත්ත්වයක් නොවේද?
එය අතීතයේදීත් සිදුව ඇත. වර්තමානයටත් අනාගතයටත් පොදු වූවකි. මේක කාන්තාවන්ට කරන විශාල අසාධාරණයක්. අපි මේ ගැන හඩක් නගන්න ඕනෑ. අපි මේ අසාධාරණේට එරෙහි වෙන්නට ඕනෑ. මෙහෙම තමයි අපේ හඩ එළියට එන්නේ. නමුත් මෙහෙම කියව කියවා සිටීමෙන් ඵලක් අත්ද?
මට හිතෙන හැටි නම්, අපි කතා කළ යුතු දේ ඇත. නොකළ යුතු දේ ඇත. හඩ නැගිය යුතු අවස්ථා ඇත. නිහඩව සිටිය යුතු අවස්ථා ඇත. දරාගත යුතු අවස්ථා ඇත. අත්හැරිය යුතු අවස්ථා ඇත. ඒවා හොදින් තෝරා බේරා ගැනීම අත්‍යවශ්‍යය. ඒ පාඩම පහුගිය කාලය පුරා මවිසින් මැනවින් උගත් වටිනා පාඩමකි.
එනිසාම ජාත්‍යන්තර කාන්තා දිනය දා මම කල්පනා කරන්නට වඩාත් කාලය වැය කළේ ගැහැණියක් විදියට මගේ දුර්වල තැන් මොනවාද? මම වෙනස් විය යුතුතැන් කවරේද? කොටින්ම මම අලුතින් උපදින්නේ කෙසේද? යන්නයි. කාන්තා දින සැමරුම් සියල්ල අවසානයේ රැය ගෙවෙද්දී ජීවිතය තවත් අලුත් විදියකට දකින්නට, සිතන්නට මගේ හිතට ඉඩක් ලැබුණා යැයි මට සිතේ.
සතුට හොයනවා වෙනුවට සැනසීම හොයන්නට පුරුදුවීම තුළ බොහෝ දේ අත්කර ගත හැකියි.
එනිසා, නිතරම ඵලදායි යමක් කිරීම, වටිනා දෙයකට කාලය වැය කිරීම, අවශ්‍ය දේට පමණක් කතා කිරීම, කාන්තාවන් විදියට අපේ ජීවිතය පවත්වාගෙන යාමට සුබදායක වනු ඇත. එසේ කිරීම ම අන් අයගේ යහපතට ද හේතුවනු ඇත.
වසන්ති නානායක්කාර.
2020/03/15
Leave A Reply