පහුගිය සතියේ මං ඇඹිලිපිටිය මහා විද්‍යාලයට ගියේ මාධ්‍ය වැඩමුළුවකට. මාස ගාණකින් වැස්ස නැතුව උඩ කැරකෙන දූවිලි වළා අතර පාවෙමින්, දහඩියෙන් නැහැවෙමින්,ගිනිගෙන දැවෙමින් ගෙවුණු ඒ දවස, ගතට යි හිතට යි දැණුනු වෙහෙස නිවුණේ පාසලේ දරුවො සහ ගුරුවරු නිසා.
අපි ඇඹිලිපිටියට යන්න පිටත් වුණේ පාන්දර තුනේ කණිසමට. ඉර උදාවේ දී ඇඹිලිපිටියේ. ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ හැත්තෑවෙනි සංවත්සරය නිමිත්තෙන් සැකසූ මාධ්‍ය වැඩමුළුවට යි ඇරයුම ලැබුණේ.
වැඩමුළුව ට සහභාගි වෙනවාද? නැද්ද? යන්න කළින් දවසේ ඉදන් තිබුණේ දෙගිඩියාවක්. ඒකට හේතු වුණේ රට පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සූදානම්ව සිටියේ වැඩමුළුව පවත්වන දිනටයි. ඉතින් විදුහල්පතිවරු සහ ගුරුවරුන් නැති පාසලකට ළමුන් පැමිණීම කොයි වගේ වෙයිද? අවට පාසල් ගණනාවකින් වැඩමුළුවට සහභාගී වීමට කැමැත්ත පලකළ දරුවන් රැගෙන අදාළ පාසල් වල ගුරුවරුන් වැඩවර්ජනය නිසා පැමිණෙයිද? කොටින්ම වැඩවර්ජනය තුළ මාධ්‍ය වැඩමුළුව සංවිධානය කළ මාධ්‍ය ගුරුවරයා ට කුමක් සිදුවෙයි ද? උභතෝකෝටික ප්‍රශ්ණ රැසක් මැද ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතලයි වැඩමුළුවට ගියේ. පැසලට ඇතුළු වුණාම හිතුණේ අනේ අපේ මහන්සිය අපතේ ගියේ නෑ නේද කියලා.
ශාලාව පිරිලා ඉන්න දරුවෝ ටික දැක්කම දරුවන්ගේ උනන්දුව කොයි තරම් ද කියලා හිතුණා. උසස් පෙළ, සාමන්‍ය පෙළ විෂයන් හදාරණ දරුවන් වගේම පාසල් මාධ්‍ය ඒකක වල දරුවන් ද ඒ අතර හිටියා. ඒ හැමදේටමත් වඩා මට පුදුම හිතුණේ රට පුරා තියෙන වැඩවර්ජනයක් අස්සේ තමන්ගේ යුතුකම් සහ වගකීම් ගැන හිතලා රැකියාව උකසට තියලා ඇවිත් හිටිය ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරුයි, අවට පාසල් ගණනාවක ගුරුවරුයි වැඩේට සම්මාදම් වෙන්න මහන්සි වෙන හැටි දැක්කම. ඒතකොට නම් මට හිතුණා මේ වගේ හැමෝම හිතන්න පුරුදු වුණානම් අපේ රටට මොන තරම් සුගතියක් වෙයි ද කියලා.
කොළඹින් ආපු අපි ගැන තිබුණේ හෘදයාගම බවක්. දුෂ්කර ගමක ඉපදුනු මට ගමේ ගියා වගේ දැණුනේ ඒ නිසා වෙන්නැති. පන්ති කාමර පැවැත්වෙන ශාලාවක රතු පැහැති සිල්ක් රෙදි වලින් ආවරණය කරමින් හැඩ වැඩකොට ප්‍රධාන රැස්වීම් ශාලාවක් බවට පත්කොට තිබුණු අයුරු අපූරුයි.
ජීවිතේ කිසිම දවසක මුල අමතක නොකළ යුතුයි. අපි නැගපු ඉනිමග අමතක අමතක නොකල යුතුයි. අතීතය අමතක වෙන කෙනෙකුට වර්තමානයකුත්, අනාගතයකුත් නෑ කියලයි මට නම් හිතන්නේ.
එනිසාම දේශනයක් ආරම්භයේදී මගේ උපන් ගම හදුන්වා දෙමින් ආපු ගමන් මග කෙටියෙන් හරි පැහැදිළි කරදීම මගේ පුරුද්දක්.
මමත් ඇඹිලිපිටියේ වගේ ගමක ඉපදුන කෙනෙක්. මගේ ගම ත්‍රිකුණාමලයේ කන්තලේ.” එහෙම කියනකොටම මුළු ශාලාව පුරාම ෂ්……..යන ශබ්ධයක් සහිත ප්‍රතිචාරයක් දරුවන්ගේ මුවින් පිටවුණා. හැම මුහුණකම තිබුණේ පුදුමයක්. ඒ පුදුමය ඇඹිලිපිටිය දරුවන්ගේ විතරක් නෙවෙයි බොහෝ අයගෙන් මට ලැබෙන ප්‍රතිචාරයක්.
ඉතින් මම ඒ අයට කෙටියෙන් පැහැදිළි කළා තමන්ගේ ඉලක්කය වෙත ලගා වෙන්න ඕනෑම පුළුවන් බව. ඒකට අවශ්‍ය වෙන්නේ උනන්දුව, කැපවීම කියලා. ඒ තුළින් අපේ ඉලක්කයට අවශ්‍ය අධ්‍යාපනය,දැනුම,හැකියාව සියල්ල වර්ධනය කරගත හැකි ආකාරය මං කියලා දුන්නා.
දරුවෝ මගේ පුංචි කාලේ දැන ගන්න බොහොම උනන්දුවක් තියෙන බව ඔවුන් අහපු ප්‍රශ්ණ වලින් තේරුණා. “මාධ්‍ය යේ කාර්්‍යභාරය” ගැන කතා කරන්න සූදානම් වුණු මට ඒ මාතෘකාව ටිකකට පැත්තකින් තියලා තමන්ගේ ජීවිතයට හොද ඉලක්කයක් ගන්න හැටි කියලා දෙන්න සිද්ධ වුණා.
බොහෝ දෙනෙක් හිතන් ඉදලා තියෙන්නේ මං කොළඹ පාසලක ඉගෙන ගත්ත කෙනෙක් කියලා. බොහෝ පහසුකම් මැද ඉදිරියට ආ කෙනෙක් කියලා. මං ඒ දරුවන්ට කියලා දුන්නා සමාජයේ හොද රැකියාවක් කරන්න, උසස් තලයට එන්න, කොළඹ පාසලකටම යන්න අවශ්‍ය නැති බව.
මගේ දුෂ්කර ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ උනන්දුව සහ කැපවීම මත බව ඔවුන්ට කියා දුන්නා. ඊට පස්සේ මගේ සන්නිවේදන දේශනය ආරම්භ කළා.
දේශනය අතර තුර ශාලාව පුරා ඇවිදින මගේ ඇස් එක එක දරුවන් ලග නතර වුණා. ප්‍රශ්ණ ඇහුවා සාකච්චා කළා. මගේ දැනුම ලබා දුන්නා.
“මටත් පුළුවන් වෙයිද මිස් දවසක මිස් වගේ රූපවාහිනියකින් නිව්ස් කියන්න.”
මගේ ලගට ආව එක් දැරියක් ඇහුවා. මට මගේ පුංචි කාලේ මතක් වුණා.
පුළුවන් ඇයි බැරි?
“මිස් , මම දිනිති කරුණාරත්න. මං ආසයි නිව්ස් රීඩර් කෙනෙක් වෙන්න. ඒක මගේ හීනයක්. ඒත් අපේ අම්මා කියන්නේ ඔය හැබෑ වෙන්නේ නැති දේවල් ගැන හීන දකින්න එපා කියලා.”
දැරිය දිගටම කියවාගෙන යයි.
මට මගේ අම්මා ව මතක් වුණා. ඇය කිව්වේ “හැම හීනයක්ම ඔබ ඔබතුළින් දකින්න” කියලා. ඒ හීන දකින වාරයක් වාරයක් පාසා හිත ශක්තිමත් වෙයි කියලා.
වැඩමුළුව අවසාන පැයේ ප්‍රායෝගික පුහුණුවක් ලබාදුන් අතර දිනිති එහි වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා. සැබැවින්ම ඇයත් සමග මාධ්‍ය දක්ෂතා ඇති තවත් දරු දැරියන් බොහෝ දෙනෙක් අපි විසින් හදුනා ගත්තා.
“ඔයාල ට පුළුවන් දවසක මං වගේම නිව්ස් රීඩර් කෙනෙක් වෙන්න.” වැඩමුළුව අවසන් කර ආපසු එනවිට සමුගන්න ට රොක් වුණු දරුදැරියන්ට මං කිව්වා.
හැමනෛකුගේම මුහුණේ තිබුණේ සොදුරු සිනාවක්.
ඒ හිනාව ඇතුළින් මම දැක්කා තවත් වසන්ති නානායක්කාර ලා බොහෝ දෙනෙක්.
Leave A Reply