ජීවිතේ අලුත් පිටුවක්…

ජීවිතේ අලුත් පිටුවක්…

ගමට තිබුණු ආදරය නම් දවසින් දවස වැඩිවෙනවා. යන්න තියෙන  විවිධ දුෂ්කරතා නිසාත්, දුර වැඩිකම නිසාත්, වැඩ වැඩිකම නිසාත් පහුගිය කාලේ කන්තලේ ගියේ කලාතුරකින්. දැනුත් ඒ තත්ත්වය එහෙමමයි. ඒත්,  වෙනදා නැති මොකද්දෝ සැනසීමක්,හැගීමක්  මෙදා සැරේ ගමට ගියාම දැනෙන්න පටන් ගත්තා. ඒ නිසාම  දැන් කාලය කොහොම හරි හොයාගෙන සති අන්තේ ගමට යන්න පුරුදු වුණා. නිතර ගමට යාම ගැන  වැඩියෙන්ම සතුටු වෙන්නේ තාත්තා.

“ඔයා දැන් ගමේ ජීවිතේට ටිකෙන් ටික පුරුදු වෙන්න පටන් අරන්.” ගමේ ගිහින් ගෙවන මගේ ජීවිතේ ගැන විස්තර කියන කොට තාත්තා එහෙම කියනවා.

“තාත්තේ මම ආයෙම වගා කරන්න පටන් ගන්නවා.”  තාත්තා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ මගේ කතාවට.

කුඹුරකට බහින්න ආසාව තිබුණත් ඒවට කාලය නැති නිසා අඳේට දීලයි වගා කළේ. දැන් ආයෙම මඩ සුවද එක්ක කුඹුරට බහින්න ආසා හිතුණා. කුඹුර අද්දර එළවළු, පළතුරු වගාකරන හැටි හීන මැවුණා.

ආපහු පරණ පුරුදු ජීවිතේට බහින්නම ඕනෑ කියලා හිත කිව්වා.

පහුගිය සතියේ ගමේ ගියේ අඳේට දීපු කුඹුරේ වගා කරන්න ආපහු පටන් ගන්නවා කියලා සැලසුම් කරගෙන. ගොයම් කපලා පාගලා මෙදා සැරේ කන්න අහවරයි.  අස්වැන්න කොටසත් අපිට ලැබුණා. ඊළ‍ඟ සැරේ වගාව කරන්නේ මමයි. පොළව එක්ක හැප්පෙන්න යනවා කියලා දැනුණම හිතට ඇතිවුණේ සැහැල්ලුවක්.

කුඹුර අයිනේ පාළුවට ගිය ගොඩ කෑල්ල අක්කර දෙකක් විතර ඇති. ඉස්සර තාත්තා ඔය ගොඩ කෑල්ලේ වගා කළේ එළවළු. ඒ අතරේ පලතුරුත් තිබුණා. තාත්තා අසනීප වුණු අවුරුදු පහළොවටම ගොඩ කෑල්ලත් පාළුවට ගියා.

“අපි ආයෙත් එළවළු වගා කරමු.” මගේ සැමියට කළ යෝජනාවට ඔහු බොහොම කැමැත්තෙන් එකඟ වුණා.

“හැබැයි මං කැමතියි මට ඕනවිදියට වගා කරන්න.”

“ඉතින් කරන්න. තාත්තට පුළුවන් නම් ඔයාටත් පුළුවන් වෙන්න ඕනනේ.” සැමියාගේ පිළිතුර වුණේ එයයි.

තාත්තා ත්‍රිකුණාමලේ කෘෂිකර්ම උපදේශක. මුළු ගමටම වගා කරන හැටි කියලා දුන්නා. තාත්තගේ පිටි පස්සෙන් මමත් ගිහින් ගොවියන් ට උපදෙස් දෙන හැටි බලන් හිටියා. එහෙම තාත්තගේ දුවට බැරිද අලුතින් වගාවක් පටන් ගන්න. මම හිතට දිරි ගත්තා.

තාත්තා ට කතා කළා. අදහස කිව්වා.

අවුරුදු ගාණකින් කෘෂිකර්මය ගැන අලුත් අත්දැකීම් නැති නිසාම තාත්තයි මමයි කතිකා කර ගත්තා ඒ  ගැන නිපුණයෙක්ගෙන් උපදෙස් ගන්න. ඒ අනුව කෘෂිකර්ම උපදේශක කපිල දසනායක මල්ලී ට කතා කළා.

“මට ඕනෑ මල්ලී ආපහු වගා කරන්න. කුඹුරත් මම කරනවා. හොද එළවළුයි, පළතුරුයි වගාවකුත් පටන් ගන්නවා.” කපිල මල්ලීට කතා කොට කිව්වා.

“ඇති යාන්තම් අක්කා ඉස්සර ජීවිතේට ආයෙමත් ආදරේ කරන්න පටන් අරන්.”  කපිල මල්ලීගේ වචන වල  තිබුණේ ප්‍රාණවත් බවක්.

“හැබැයි ක්‍රමානුකූලව, ගුණාත්මකව වගා කරන්නයි මට ඕනෑ. දැන් කුඹුරු අස්වැන්න අරන් ඉවරයි. තව මාස දෙක තුනක් යනකන් අපිට උදව්වට මිනිස්සු හොයා ගන්නත් පුළුවන්. දැන් අපි බිම් සකස් කරලා ඉවරයි. වතුර ගන්න ළඟම තියෙනවා ඇළ. ඒකේ හොදට වතුර එනවා. පොම්ප කරලා කරදරයක් නැතුව ගන්න පුළුවන්.” ඉස්පාසුවක් නැතුව මම දිගටම කියවාගෙන ගියා.

“හරි අක්කේ  දැන්  මුළින්ම අපි කරන්න තියෙන්නේ ඔය බිමේ හැටියට සුදුසු එළවලළු පළතුරු මොනවද? ඒවා නියම විදියට වගා කරන්නේ කොහොමද කියන එක හොඳට හොයා බලන එක.”

“පුළුවන් තරම් කාබනික පොහොර යොදලා වගා කරන එක තමයි මට ඕනෑ කරන්නේ.” මගේ සැලසුම සහ අවශ්‍යතාව මම කපිල මල්ලී ට පැහැදිලි කළා.

අපේ ගමේ  ඕනෑ තරම් හරක් ඇතිකරනවා. ඒ නිසා අට්ටි ගණන් ගොම තියෙනවා.  කඳු ගහන්න පිදුරු තියෙනවා. ගිනිසීරියා ගස් පිරිලා ඉතින් කාබනික පොහොර හදා ගන්න එක මහලොකු දෙයක් නෙවෙයි.

“ඒ වැඩේ නම් නියමයි අක්කා. මම කෘෂිකර්ම දෙපාර්තමේනතුවෙන් ඔයාට අවශ්‍ය කරන හොදම එළවළු, පළතුරු බීජ ටික අරගෙන දෙන්නම්.  මමත් එන්නම් ඔය වැඩේට සම්මාදන් වෙන්න.” කපිල මල්ලිගේ උද්යෝගය මගේ ඕනෑකම දෙගුණ තෙගුණ කළා.

ගමේ ගෙවුණු ඒ දින කිහිපය හිතට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනාවා. ඩෝසරයකින් අක්කර දෙකක මුළු ඉඩමෙම  කළු පාට  පස පෙරළලා, වතුර ඉහලා  සකස් කරද්දී නැගුණේ නැවුම් සුවඳක්. ඒ නැවුම් සුවඳ ඇට නහර ලේ දක්වාම දිවෙන බව දැනුණා. මට හිතෙන්නේ  ඉක්මනින්ම පැළ හිටවලා, පණ ගහගෙන එනකොට තාත්තව එක්ක යන්න ඕනේ  වගාව පෙන්නන්න. ඒක තමයි මගේ ලස්සන හීනේ. “කියන්නත් කලින් වසන්තය ඇවිත්.”

වසන්ති නානායක්කාර.

2020 මාර්තු මස 22 වැනිදා (“රැජිනිය” පුවත් පත)

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *