මට හිතෙන හැටි… 06

මට හිතෙන හැටි… 06

ජංගම දුරකතනය නාදවෙද්දී එහි සටහන් වූයේ බෝගල ශාන්ත ගේ නමයි. මසකට වරක් දෙවරක් හෝ තුන්වරක් මෙම අංකයෙන් මට ඇමතුමක් ලැබෙයි. වසර පහක් පුරා ඒ අංකය එලෙස නාද වෙයි.

බෝගල ශාන්ත ගැන මට හිතෙන හැටි ලියන්න හිතුණේ  ජීවිතේ ඇතැම් මිනිසුන්ගේ බැඳීම් පුදුමාකාර යැයි මගේ හිත නිතර මෙනෙහි කරන නිසාවෙනි.

“වසන්ති මිස් කොහොමද සුවදුක්?” ශාන්ත මගෙන් විමසයි. ඊට පසුව ඔහුගේ බිරිඳ, කුඩා පුතු ඇතුළු පවුලේ සියල්ලන්ගේ කටහඩින් මගේ සුවදුක් විමසයි.

බෝගල පතල ඇසුරෙන් රූපවාහිනී වාර්තා වැඩසටහනක් සැකසීමට අප බෝගල ගියේ මීට වසර පහකට පෙරයි. සම්පත්, නිශාන්ත, රණසිංහ සහ ප්‍රභාතී මගේ ගමන් සගයින් ලෙස මා හා එක්විය.

එහිදී හමුවූ ශාන්තගේ මතකය අදටත් මගේ සිතේ  සටහන්ව ඇත.

දින දෙකක වෙහෙසකර රූගත කිරීම් පුරාවට ශාන්ත අපේ කණ්ඩායම සමඟ ඉතා සුහදව කටයුතු කළ අතර මගේ ගජ මිතුරෙකු බවට ද පත්විය.

පළමු දින රූගත කිරීම් නිමාවේ දැණුන විඩාව කියන්නට වචන නොමැති තරම්ය. එහෙත් දිනපතා බෝගල පතලේ එහා මෙහා යන ශාන්ත ට එහි වගේ වගක් නැත. ගමන කඩියෙකු මෙනි. කතාව ද තොරතෝංචියක් නැත. හැමවිටෙකම සිනාමුසු මුහුණින් සැරසුනු ශාන්ත පතලේ සෙසු සේවක හිතවතුන් සමඟ ද පාලන නිධාරීන් සමඟ ද ඉතා සමීපව කටයුතු කරන හැටියක් පෙණුනි.

“වසන්ති මිස් ට මේ පතල් වල බැහැලා පුරුදු නෑ. ඒකයි ඔය කකුල් කැක්කුම”, වේදනා නාශන ආලේපයක් ප්‍රභාතී විසින් මගේ දෙපා වල ගල්වමින් සිටිනු දැක ශාන්ත කීවේය. අපේ කණ්ඩායමේ සියලු දෙනා ඒ සන්ධ්‍යාව ගත කළේ වේදනා නාශන ආලේප වල පිහිටෙනි.

පුංචි පොද වැස්සක් වැටෙමින් තිබුණි. දවල් තිබුණු අව් රශ්මිය වියැකී ගොස් සෞම්‍ය  පරිසරයක් උදා වී ඇත.

“අද රෑට අපේ ගෙදර කෑම ලෑස්ති කරනවා.” ඇඳිරි වැටෙද්දී ශාන්ත ගෙනාවේ තවත් කණගාටුදායක ආරංචියකි. මේ වගේ තැනකට ඇවිත් කාමරයට වෙලා ඉඳීමේ පුරුද්දක් මට ඇත්තේම නැත. නමුත් දවස පුරා දැණුන වෙ‍හෙස,  නාවාතැන්පළට යාමට හිත තදින් බලකළේය.

“ශාන්ත බලාගෙන ඉන්නවා අපිව රැ කෑමට එක්කගෙන යන්න.” සම්පත් මගෙන් විමසුවේ ඔහුටත්  අපේ කණ්ඩායමටත් ඇති වෙහෙස දැනගෙනමයි.හෙට උදේම ආපහු ෂූටිං. හරිම අමාරුයි මේ රෑ වෙලා ආපහු ගමන් යන්න.” මම කිව්වෙමි.

මගේ අකමැත්ත කෙසේ හෝ කැමැත්තක් බවට පත් කර ගැනීමේ ප්‍රයත්නය සම්පත් විසින් අත්නෙහැරියේය.

“කමක් නෑ අපි ඔන්න ඔහේ ගිහින් එමු. මිනිහා හරි ආසාවෙන් ඉන්නේ අපව එක්කගෙන යන්න.” අවසානයේ සම්පත්ගේ ඉල්ලීමටත්, ශාන්ත පිළිබඳ මගේ හිතේ ඇතිවුණු බැඳීමත් නිසාවෙන්  ගමන ට එකඟ විය.

ශාන්ත ගේ ගෙදරට යන කැළෑ අඩි පාරේ පල්ලම් බහිමින් යන අතරේ පුංචි වතුර සීරාවක හඩත්, රැහැයියන්ගේ ක්‍රීං…ක්‍රීං… හඩත්, හුළඟේ හ්ම්…. හඩත් ඇරෙන්නට ඉතුරු වුයේ අපේ නඩේ ඇත්තන්ගේ හඩවල් පමණයි.

ලාවට වැදුනු විදුලිපන්දම් එළිය  අතරින් ඉඳහිට කූඩැල්ලන් ගලවන සම්පත් සහ නිශාන්ත මල්ලී දකින මට වූයේ පුදුමාකාර කේන්තියකි. මේ වෙහෙසකර දවසක නිමාව අග සැපසේ නිදා ගැනීමට තිබූ අවස්ථාව නැති කළේ සම්පත් ය. ඔහුට උල්පන්දම් දුන්නේ නිශාන්තය.

“තව දුරයිද ශාන්ත” මම ඒ වචනය ඇසූ වාර ගණන මතක නැත. එතරම් ප්‍රමාණයක් අසන්නට ඇත.

“නෑ මිස් තව විනාඩි පහයි. දැන් ලඟයි.  තව ටිකයි.” කියමින් ශාන්ත අපව ගිරි දුර්ග මාර්ගයක අඩුම තරමේ විනාඩි හතලිස් පහකට  ආසන්න කාලයක් අරගෙන යන්නට ඇත. දෙපා පැටළෙමින්, කූඩැල්ලන්ගෙන්  ආරක්ෂා වෙමින් ගිය ගමනේ සහනය දැනුණේ ඈතින් කුඩා එළියක් දැල්වුණු නිවස දැකීමෙනි.

ඒ ශාන්තගේ නිවසයි.

ශාන්ත සමඟ ප්‍රිය බිරිඳත් ,දෙක වසරේ සිටි කුඩා පුතුත් විසූ ඒ නිවස, මා කුඩා කළ ප්‍රිය කළ පිලක් සහිත අපූරු එකකි.

අප්ප පුළුස්සන සුවඳ වහනය වුයේ නිවසේ පිල් කණ්ඩියට ගොඩවන විටමය.

“එන්න මිස් අපි ඔන්න මිස්ලට බඩ පිරෙන්න ගෙදරම ආප්ප හැදුවා.” ශාන්තගේ බිරිඳ උණුවෙන් දුම් දමන ආප්ප වට්ටියක්ම කුඩා ඉස්තෝප්පුවට අරගෙන ආවාය.ලුණු මිරිසේ සැර දැනෙන්නේ මුසු වූ දෙහි සුවඳ සමඟිනි.

බඩ පිරෙන්නට ආප්ප කන විට සම්පත් කීවේ

“දැක්කනේ අපේ බලේට තමයි වසන්ති මෙහේ ආවේ. ඇඟට අමාරුයි කියලා නෙඑන්නයි හිතුවේ.” සම්පත්ගේ කතාවට මට ඇති වුයේ ලැජ්ජාවකි. ඒ ලැජ්ජාව උණුවෙන් රසම රස ආප්ප කන්නට ලැබුණු නිසා නම් නොවේ. ශාන්තගේ මේ කුඩා නිවසේ ආදරණීය ආගන්තුක සත්කාරය තව ටිකෙන් මට අහිමි වෙන්නට තිබුණු දුක සමඟ ඇති වුණු ලැජ්ජාවයි.

ආප්ප කා උණු කහට තේ කොප්ප සමඟ කිතුල් හකුරු වලින් සප්පායම් වුණු අපේ නඩේ එක්ව ශාන්තත් පවුලේ උදවියත් කතා  සාගරයකට අත්පොත් තැබීය. බෝගල පතල පිළිබඳවත් බෝගල ගම ගැනත් රස කතා බොහොමයක් ඒ අතර විය. අවුරුදු ගණනාවකින් පසු නෑදෑයින් බැලීමට බෝගලට පැමණියා වැනි හැඟීමක් මට ඇතිවුණි.

අප යළි නවාතැනට පැමිණියේ මහා රූස්ස ගස් වලින් ගහන වටපිටාවේ නැගෙන හුළඟේ හ්ම්…. හඩ සහ කෑලි කැපෙන කළුවර මැද ය. ඒ  උතුරා ගිය සතුටිනි.

හැන්දෑ වරුවම වෙහෙසට පත්වීමෙන් ලැබුණු සියලු වේදනාවන් ඒ රැයේදී සමනය විය.බොහෝ වේලා නිදි නොලැබ මමත් මගේ සහායිකාව ප්‍රභාතීත්  කතා කළේ ශාන්ත සහ ගෙදර උදවිය ගැනය.

සතුට පිරුණු ඒ කුඩා නිවසේ අප විඳි පුදුමාකාර සුවය නැවත නැවත මතක ආවර්ජනයක යෙදුණි.

“අක්කේ ඒ ගෙදර හරිම සිරියාවයි නේද?” ප්‍රභාතී කිව්වේය.

මිනිස්සු සතුට කියන දේ අවබෝධ කරගෙන තියෙන්නේ වැරදියට නංගියේ. හරියට සතුට හොයා ගන්න ඒ වගේ තැනකට යන්න ඕනේ.” මම ඇයට කීවෙමි.

අදටත්, මට ශාන්ත සහ පවුලේ උදවිය පිළිබඳව ඇත්තේ කිව නොහැකි ලෙන්ගතුකමකි.

ඔවුන්ටත් අප කෙරෙහි ඇති වූ ලෙන්ගතුකම එදා මෙන්ය.

එනිසාම මාසකට වරක්, දෙවරක් හෝ තෙවරක් බෝගල ශාන්තගේ දුරකතන අංකයෙන් මට දුරකතන ඇමතුමක් නොවරදවාම ලැබෙයි. ඒ අපේ නොබිඳුණු ලෙන්ගතුකම් වෙනුවෙනි.

 

වසන්ති නානායක්කාර

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *