මේ කියා දුන්නේ හොඳම ජීවිත පාඩමයි.

මේ කියා දුන්නේ හොඳම ජීවිත පාඩමයි.

පහුගිය මාස දෙක තුන පුරාවටම තිබුණේ ජීවිතේ අමුතුම අත්දැකීම්. නැවුම් අත්දැකීම්.  ඒ අත්දැකීම් ලියන්න මගේ හිත පුදුමාකාර විදියට පෙරළි කළා. “රැජිණිය” පුවත් පතට “මට හිතෙන හැටි” කොලම ලියන්න නැතිව මට දැණුනේ හිස් බවක්. තෙරපෙන සිතුවිලි මුදා හරින්න තිබුණු එකම මඟ රැජිනිය.

කොවිඩ් නිසා ඊ පේපර් එක ඇරෙන්න මුද්‍රණය නොවුණු රැජිණිය ගැන මම හීන දකිමින් ඉන්න අතරේ,  ගිය සතියේ ගීත් මල්ලී කතා කළා. (රැජිණිය කර්තෘ ගීත් ගුණසේකර)

“අක්කා ලබන සතියේ ඉඳන් පත්තරේ ප්‍රින්ට් වෙනවා කොලම් එක ඕනේ.” ගීත් ගේ හඩ  දුරකතයෙන් ඇහෙන කොටම මට ලැබුණ ජීව ගුණය ඉඩෝරෙට වැටුණු වට වැස්ස වගේ.

ලියන්න පටන් ගන්නේ කොතනින්ද කියලා හිතා ගන්න බැරි තරම් මගේ හිතේ කාරණා දළු දාලා. ඒත් ඒවා එක පොදියට මුදාහරින්න බැහැ. ඒ නිසා  එකින් එක, හෙමින් හෙමින් පෙළ ගස්වන්නට හිතුවා.

මට හිතෙන හැටියට නම් මුළින්ම සටහන් කරන්න හිතට ආවේ ජීවිතය සතුට සහ ආදරය   ගැන. ජීවිතයට සතුට ලඟා කර ගැනිම ගැන,  පහුගිය අවුරුදු ගණනාව එක්ක ගළපන කොට ලෝකයේ සියලු දෙනාටම නියම සතුට  ගැන අවබෝධ කර ගන්න ලැබුණු හොඳ අවස්ථාවක් කියලා හිතුණා කොවිඩ් 19.  අපිට, ලෝකයට ඉගැනු වූ හොඳම පාඩම නම් සතුටින් ජීවත් වන්නේ කෙසේද කියන පාඩම.

ගෙවී ගිය කාලය මට වෙනසක් වූයේ නැත.  ඒ වෙනදාටත් වඩා වැඩි කාලයක් රාජකාරී කටයුතු වල  නියැලීම නිසාය. අපේ වගකීම් පෙරටත් වඩා වැඩිව තිබූ නිසාය. මේ සියලු දේ තුළ වඩ වඩාත් සමාජ ඇසුරට පත්වීමට ලද භාග්‍ය තුළ මා අත්විඳි දේ අපමණයි. ලබා ගත් දැනුම සුවිශාලයි, අවබෝධ කර ගත් සැබෑව ද ඉතා පුළුල්.

සතුට සහ ආදරය තුළ ජීවිතය විඳීම පිළිබඳ ඉගැනීමට ලැබුණු හොඳම අවස්ථාව මෙය ලෙසයි මට දැනුනේ.

උදේ අවදි වූ තැන පටන් නින්දට යනතුරු ත් ඇතැම් විට සිහිනෙනුත් අප මානසිකව කෙතරම් විඩාවට වෙ‍හෙසට පත්වන්නේද ?, කායිකව කොතරම් දුබල තත්ත්වයකට පත්වන්නේද?, අපට විවේක ගැනීමට තිබූ අවස්ථා කොතරම් ද?,  ජීවි‍තේ විඳීමට තිබූ අවස්ථා කොතරම් ද? ගෙවී ගිය කාලය තුළ මේ පිළිබඳව බොහෝ දෙනාට සිතන්නට ඉඩ හසර ලබාදී තුබුණි. අදටත් ඒ ඉඩ එසේම ලැබී ඇත.

ජීවිතය කියා සොයා යමින් හැල්මේ දුවන අපේ ලෝකය මොහොතකට නතර වූ තැන ඇතිවන සිතුවිලි සමඟ සතුට යනු කුමක්දැයි සිතන්නට අප සියලු දෙනාට කාල අවකාශය උදාවිය. ආදරය යනු කුමක්දැයි දැනෙන්නට මං පෙත් විවර විය.

ලෝකය පිළිබඳ පෙර නොදුටු පැතිකඩයන්, මෙතෙක් අත් නොවිඳි සිදුවිම්, නොහිතූ අත්දැකීම් සියල්ල සමඟ මුළු ලෝකයටම  අලුත් ඇසකින් බලන්නට, අලුත් හිතකින් හිතන්නට මේ අනර්ඝ අවස්ථාව හැරෙන්නට වෙනත් අවස්ථාවක් අපට නැවත කිසි දිනෙක නොලැබෙනු ඇතැයි මට සිතේ.මේ කියා දුන්නේ හොඳම ජීවිත පාඩමයි.

මිනිසුන්ට ආදරය කිරීම, සොබා දහමට , සතා සීපාවාට කොටින්ම මේ විශ්වීය තලයටම ආදරය කරන කරන හැටි අපට ඉගෙන ගන්නට තිබුණු හොඳම අවස්ථාව මෙයයි.

පසුගිය වසන්තය ඇවිත් ගියේ අපට නොකියා නෙවේ. මුළු ලොවටම වටිනා පාඩම් රැසක් කියා දෙමින්.

සතුට, ආදරය, සහ ජීවිතය ගැන කොවිඩ් කාලේ මට හිතෙන්නට පටන් ගත්තේ වසන්තයේ නුවර පාරේ කිරිබත්ගොඩ නගරයට සේන්දු වන විට පසුවන රොබරෝසියා මල් යාය දකිද්දීයි. මිනිස් පුළුටක් නැති රොබරෝසියා මල් පාරේ තනියම යද්දී මට දැනුණේ ආදරය මා නතු කර ගෙන ඇති බවකි. ඒ තුළ ජීවිතේ සතුට ලඟාවී ඇති බවකි. ඒ සතුට ජීවිතය ජීවත්කරවන බවකි.

ජීවිතේ මා උගත් හොඳම පාඩම  ඉගෙන ගනිමින් සිටින්නේ මේ කාලයේ බව ඒ මොහොතේ මට දැනෙන්නට විය.

“මගේ හද ගැහෙයි

ඇතුළාන්තයටම දැනෙයි

මම හුස්ම ගනිමි

නිදහසේ.

 

කාලය දුර රැගෙන ගොස්

උණුහුමින් පිරි

සැදෑ මුහුද මෙන්.

 

ආදරය මාව විශ්වාස කරයි

අඳුර අතරින් මට කතා කරනු දැනේ.

 

මොහොතකට නවතිමි

මගේ හීනය ලඟ

දැනෙයි

සියල්ල ආදරය බව

ඇත්තමයි

සත්තමයි

සියල්ල ආදරයයි….”

ආදරය තුළ ජීවත් වීමම සතුට ලඟාවීමක් නෙවේද?  එසේ නම් මිනිසාට ජීවත් වීමට තවත් කිසිවක් අවශ්‍ය නැත.

අවශ්‍ය වන්නේ ආදරය පමණක්මය….  සියල්ල රැදී ඇත්තේ ආදරය තුළය.

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *