TalkingWasanthi
මට හිතෙන හැටි

මට හිතෙන හැටි 01

Jul 05, 2026

මට හිතෙන හැටි….

තාත්තා කියා දුන් පාඩම… 01

පුංචි කාලේ ඉදන් තාත්තා මට පුරුදු කළා යන හැමතැනකම කුඩා සටහන් පොතක් (නෝට් බුක් එකක්) සහ පෑනක් ගෙනියන්න. එයා මට කියලා දුන්නේ හැමවෙලාවෙම තමන් දකින, විදින අළුත් දේවල් අමතක වෙන්න කළින් ලියලා තියාගන්න කියලා. එහෙම ලියපුවා අද, හෙට ඕන වුණේ නැතත් කාලයත් එක්ක මතුයම් දවසක ඕනවෙන්න පුළුවන් වෙයි කියලත් කිව්වා.

ඉතින් මං තාත්තා කිව්ව විදියටම කොහේ ගියත් මගේ පුංචි අත්බෑගයේ කුඩා සටහන් පොතක් සහ පෑනක් ගෙනියන්න අමතක කළේ නෑ. මගේ  අත්තම්මා ට  නම් මේ සටහන් කෙරුවාව ගැන එතරම් මනාපයක් තිබුණේ නැහැ. ඇය හැමවිටෙකම කිව්වේ

“දකින දකින තැන් වල නැවතිලා පොතේ කුරුටු ගාන මේ වැඩේ නම් ගෑණු ළමයෙකුට එතරම්ම ගැළපෙන්නේ නැහැ.” කියලා.  අත්තම්ගේ ඒ සිතුවිල්ලේ වරදක් තියෙන බවක් මට පෙණුනේ නැහැ.  මොකද ඇය හැමදාම බලාපොරොත්තු වුණේ මම ඉස්කෝල ගුරුවරියක් වෙයි කියලා.

“ගෑණියෙක් වුණාම කසාදයක් බැදලා, ළමයි හදාගෙන වේලාසනින් ගෙදර ඇවිත් යුතුකම් ඉටුකරන ගෑණියක් වෙන්න ඕනේ.” ඒ අදහසක් එයාට තිබුණේ. ඒත් ඉතින් සාරියක් ඇදගෙන ඉස්කෝලේ ගිහින් ළමයින්ට උගන්වන ගුරුවරියක් වෙන්න මට ඕන වුණේ නැහැ. මං අත්තම්මා එක්ක වාදෙට ගියෙත් නෑ.

“තාත්තේ කොහොමද සටහන් ලියන්නේ? සටහන් ලියන විදිය තාත්තගෙන් ඇහුවා.

“හැම සටහනකම මුළින්ම දිනේ ලියන්න. ස්ථානය සහ වෙලාව දමන්න කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ සිදුවීම පෙළින් පෙළට ලියන්න. ඒක හරියට මාලෙක මුතු අමුණනවා වගේ පිළිවෙලට කරන්න ඕනෑ. එතකොට තමයි ලියන දේ  ලස්සන වෙන්නේ. කියවන්න ආසා හිතෙන්නේ. අන්තිමට ඔයාට ලියපු දේ ගැන දැනෙන විදියත් පේළියකින් හරි ලියන්න අමතක කරන්න එපා.” සටහන් පොත ලියන හැටි තාත්තා කියලා දුන්නේ ඒ විදියට. හැබැයි පස්සේ කාලෙක මං ඒ සටහන් පොත් ලියලා තියෙන විදිය හරිහැටි නිරීක්ෂණය කරනකොට දැනුණේ තාත්තා මට පුංචි කාලේ ඉදන් කියලා දීලා තියෙන්නේ සාහිත්‍ය විමර්ශනයක් ලියන හැටි නේද කියලා. එකතු වුණු සටහන් පොත් ගොන්න පස්සේ කාලෙක කියවන කොට  ඒ අත්දැකීම් වල අපූර්වය කියලා නිමකරන්න බෑ.

ඉස්සර ලියපු පරණ කතා සටහන් එකතු කරලා,  ඒවයින් තවත් අළුත් කතන්දර නිර්මාණය කරලා, ඉස්කෝලේ යන කාලේ මගේ පන්තියේ යාළුවෝ අතර කියවන්න බෙදා දීපු අවස්ථා ත් තිබුණා. කතා කියවලා රසවිදපු මගේ සමහර ගුරුවරු සහ යාළු මිත්‍රයින් ඒ දවස් වල කිව්වේ දවසක ඔයා හොද ලියන්නියක් වෙයි කියලා. ලියන දේවල් හොදයි ද, නරකයි ද, රසවත්ද, නැද්ද  කියලා මං දන්නේ නෑ හැබැයි මං ලිව්වා. දිගටම ලියන්න පටන් ගත්තා. මාධ්‍ය ජීවිතයට ආදරේ කරන්න පටන් ගත්තෙත් ඒ ලියවිල්ල නිසාමයි කියල යි මට හිතෙන්නේ.

මට ඕනේ වුණා මිනිසුන් හදුනා ගන්න, ඔවුන් සමග එකට වැඩ කරන්න, පරිසරයේ රිද්මය වටහා ගන්න, සතා සීපාවා සමග ගණුදෙණු කරන්න, කොටින්ම ජීවිතය හැම මොහොතකම අළුතින් දකින්න, අළුතින් හිතන්න ඕනේ වුණා. ඒ නිදහස මට කුඩා අවදියේ පටන් මේ මොහොත වෙනතුරුම ලැබුණා. එනිසාම මා අත්විදන සියලු නැවුම් දේ සටහන් කර තැබීම මගේ පුරුද්දක් වුණා.

පුංචි කාලේ සටහන් පොතටයි පෑනටයි සීමාවුණු තාත්තගේ කැමැත්තට පස්සේ කාලෙකදී මගේ කැමැත්තකුත් එකතු කළා. ඒ තමයි කැමරාව. මට දැනෙන සියල්ල ලියනවා වගේම සේයා රූ බවට පත්කිරීමේ අභිරුචියක් මට තිබුණා. ඉතින් හොද කැමරාවකුත් අරගත්තා.

දැන් මගේ ජීවිතේ යන එන අතර මග හැමතැනෙකම තනි නොතනියට සටහන් පොතත්, පෑනත්, කැමරාවත් වරදින්නේ නැහැ.

පුවත් පත් කලාවේදිනියක් ලෙස ඇරඹි මගේ මාධ්‍ය ජීවිතයේ මේ දක්වා ආ ගමන් මගේ, ගුවන් විදුලියත් අතික්‍රමණය කරමින් රූපවාහිනියට අවතීර්ණ වුණා. මාධය ජීවිතයේ අවුරුදු විසි පහක බෝහෝ සුවිශේෂී අත්දැකීම් සටහන් කර මා සන්තකයේම තබා ගත් අවස්ථා එමටයි. මම ම කියවා, ම විසින්ම රසවිද අගුළුලා ගත් බොහෝ සිදුවීම් ඒ අතර වෙයි. ඒ අත්දැකීම් එදත්, අදත්, සේම හෙටත් එකලෙසින්ම එකතුවේවි. එනිසාම මට හිතුණේ ඒ සියලු අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගත යුතුයි කියා. ජීවිතය තවත් බෙදා ගනිමින් විදින්නටත් එයින් සතුටක් ලබන්නටත්  එයම ප්‍රමාණවත් වනු ඇත.

ස්තුතියි ඒ අත්දැකීම් පාඨක ඔබ අතට පත්කිරීමට “රැජිණිය” ලබාදුන් අවස්ථාවට. ලබන සතියේ පටන් මා ලබන අත්දැකීම් පිළිබද,  “මට හිතෙන හැටි” ඔබට ලියන්නම්.

Share this article
Related Reading

More from මට හිතෙන හැටි

මට හිතෙන හැටි… 06

මට හිතෙන හැටි… 06

ජංගම දුරකතනය නාදවෙද්දී එහි සටහන් වූයේ බෝගල ශාන්ත ගේ නමයි. මසකට වරක් දෙවරක් හෝ තුන්වරක් මෙම අංකයෙන් මට ඇමතුමක් ලැබෙයි. වසර පහක් පුරා ඒ අංකය එලෙස නාද වෙයි.

Read More
මට හිතෙන හැටි… 07

මට හිතෙන හැටි… 07

ජීවිතාරක්ෂක සේවාව ගැන මම ගැඹුරින් අධ්‍යනය කර නැහැ. ඇලේ, දොලේ, වැවේ පිහිනීමට සාමාන්‍යයෙන් පුළුවන් වුණත් නිසි ක්‍රමවේදයක් ගැන හරි හැටි අවබෝධයක් තිබුණෙත් නැහැ. නමුත් ජීවිතාරක්ෂකයින...

Read More
මට හිතෙන හැටි 08

මට හිතෙන හැටි 08

පරාජය වෙනුවට ජයග්‍රහණය සොයා යන කියවීමේ පිපාසය. ඕෂෝ (භගවාන් ශ්‍රී රාජ්නිෂ්) නමැති ඉන්දියානු චින්තකයාගේ පොත් කියවීමට මා ප්‍රිය ය. ඔහුගේ අදීන අදහස් සහිත කෘතියක් වුණු courage නමැති...

Read More