TalkingWasanthi
මට හිතෙන හැටි

මට හිතෙන හැටි… 07

Jul 05, 2026

ජීවිතාරක්ෂක සේවාව ගැන මම ගැඹුරින් අධ්‍යනය කර නැහැ. ඇලේ, දොලේ, වැවේ පිහිනීමට සාමාන්‍යයෙන්  පුළුවන් වුණත්  නිසි  ක්‍රමවේදයක් ගැන හරි හැටි අවබෝධයක් තිබුණෙත් නැහැ. නමුත් ජීවිතාරක්ෂකයින් ගැන මගේ හිතේ තිබුණේ පුදුම ගෞරවයක්. ඒ වෙන කිසිවක් නිසා නොව තව කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට තමන්ගේජීවිතය පරදුවට වුවත් තබන්නට මානසික ශක්තියක් ඔවුන් තුළ තිබීමත්, තවෙකෙකුගේ ජීවිතය බේරා ගැනීමට තරම් කායික ශක්තියක් ඔවුන් තුළ තිබීමත් නිසයි.

පහුගිය සතියේ මට එවැනි අභියෝගාත්මක චරිත දෙකක් මුණගැසුණි.

පුෂ්පකුමාර, තරුණ කෝප්‍රල්වරයෙක්, චූලසිරි මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.  මේ දෙදෙනා නිළයන් දෙකක කටයුතු කරමින් පොලිස් සේවය තුළ ක්‍රියාත්මක පොලිස් ජීවිතාක්ෂක බලඇණියේ සාමාජිකයින්.

හැමවිටෙකම මගේ මාධ්‍ය ජීවිතය තුළ දිනපතා මුණගැසුණේ අළුත් මිනිසුන්.  එයින් ජීවිතයේ මා ලද අත්දැකීම් ද එකිනෙකට වෙනස් වුණා වාගේම  ලද පන්නරය ත් සුවිශාලයි.

මට පුෂ්පකුමාර නමින් වීරයෙක් හමුවී ඇත. ඒ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතුවන්නෙක්.  ඒ හමුවීම මීට  දෙවසරකට උඩදීයි. මේ, ඒ නම ම හිමි දෙවෙනි විරයා යි. එස්. පී. ඩී පුෂ්කුමාර  නම් වූ  ඔහු පොලිස් ජීවිතාරක්ෂක කොට්ටාසයේ සාමාජිකයෙකි.

දියේ ගසාගෙන යන්නවුන්, විවිධ ආපදා තත්ත්වයන් වලදී සිය ජීවිතය අවදානමට වැටුණු මිනිසුන් පමණක් නොව සතුන්ගේ ද ජිවිත සුරක්ෂිත කරමින් රාජකාරිය තුළ විශාල මෙහෙවරක් ඉටු කරන අයුරු ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් විදගන්නට මටත් ඉඩක් ලැබීම වාසනාවකි.

“දියේ ගිලෙන අයෙකු වෙනුවෙන්  අපිට හුගාක් දේවල් කරන්න පුළුවන්. හැබැයි තීරණ ගන්න ඕනේ ඉක්මනින් වගේම බුද්ධිමත්ව. නැත්නම් අපේ ඉලක්කය වරදිනවා.” පුෂ්පකුමාර කියයි.

හිස් වතුර බෝතලයක් වුණත් ඇති අපිට කෙනෙකුගේ ජීවිතය බේර ගන්න. හැබැයි  නිසි ක්‍රමවේදය දැන ගැනීම හරිම වැදගත්. පුෂ්පකුමාරගේ අත්දැකීම් විස්තර කිරීම ජීවිතාරක්ෂාව පිළිබද තොරතුරු සොයා යාමට තරම් හිතක් පහළ වෙයි.

පුෂ්පුකුමාර සිය සේවා කාලය තුළ බොහෝ මිනිස් ජීවිත මෙන්ම සතුන්ගේ ජීවිත ද  බේරාගෙන ඇත.

සිය ජීවිත කාලය තුළ වෘත්තීය මට්ටමේදී පවා අනෙකෙකුගේ ජීවිතය බේරා ගැනීමේදී හිතට දැනෙන ආත්ම තෘප්තිය මොන තරම් දැයි මට සිතේ. අනුන්ගේ පණ නසන්නට හිතන බොහෝ දෙනෙකුට පුෂ්පකුමාර වැනි සහෘදයන් කියා දෙන්නේ ආදරයේ ජයග්‍රහණය තුළින් ලබා දෙන ජිවිතයයි.

අම්මා, තාත්තා, බිරිද, දරුවන් ඕනෑම කෙනෙකුට සතුටට පත්විය හැකි රැකියාවක් මේ රස්සාව.  අඩම්බර වෙන්න පුළුවන් රැකියාවක් මේ. රැකියාවේ අවධානම පිළිබද පුංචි කුකුසක්වත් නැතිදැයි මා විමසූ විට පුෂ්පකුමාර පිළිතුරු දුන්නේ එලෙසින්.

ජීවිතාරක්ෂක සේවාවේ  නියැළෙන අතරතුර ඇතැම් විට ජනතාවගෙන් ඇසීමට සිදුවන බැණුම්, අපමණ අපහාස පිළිබද ඔහු කිව්වේ කිසිදු කෝපයකින් තොරවය.

“සමහරු විනෝදෙට ඇවිත්  මත්පැන් බීලා පීනන්න යන්න යනවා.  අපි ඉතින් එහෙම දැක්කම කියනවා වතුරට බහින්න එපා කියලා. කිව්වට අහන්නේ නැති අය ඉන්නවා.  සමහර වෙලාවට ඒ අය අපිත් එක්ක රණ්ඩුවලට පවා එන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට තමයි අපේ මේ පුහුණුවේ වැදගත්ම අංග අපි ක්‍රියාත්මක කරන්නේ.”

ගැටුමක් ඇතිවීමට යාමේදී එය නිරාකරණය කිරීමට ඉවසීම කොතරම් අවශ්‍යයද යන්නත් සිය පුහුණුවීම් කාලය තුළ ඉවසීම ප්‍රගුණ කිරීමට විවිධ ක්‍ර මෝපායන් උගන්වන බවත් පුෂ්පකුමාර කියයි. ජීවිතාරක්ෂක පිහිණුම් පිළිබද හැදෑරීමේ වැදගත්කම පුෂ්පකුමාර වඩාත් හොදින් පැහැදිළි කළේය.

ජීවිතාරක්ෂක සටන් ක්‍රම පිළිබද ඉගෙන ගැනීමට පාසල් අවධියේ මට තද බල ආසාවක් තිබුණත්  ඊට තාත්තාගේ අප්‍රසාදය දැඩිව පළ විය. එනිසාම එය අත හැරීමට සිදුවිය. එහෙත් දැන් ජීවිතාරක්ෂක පිහිනුම් ඉගෙන ගැනීමට මට සිතක් පහළ විය.

“මට බැරිද පුෂ්පකුමාරගෙන් ඉගෙන ගන්න.”

හිතේ ගුලිකරගෙන සිටි වුවමනාව මගෙන් පිට විය.

“පුළුවන්. අනිවාර්යෙන්ම ඒක කරන්න පුළුවන්. මම පුහුණු කරන්නම්.” කිසි ලෙසකින් වත් බලාපොරොත්තු නොවුණු පුෂ්පකුමාරගේ ඒ පිළිතුරෙන් මට දැණුනේ තවත් අභියෝගාත්මක  පිම්මකි.

“කවදාද?” පෙරළා මම ඇසුවෙමි.

ලබන සතියෙම එන්න. මම තැනක් ලෑස්ති කරන්නම්.” අපේ ජීවිත වල බලාපොරොත්තු මෙන්ම සතුට අරගෙන එන්නේ අපිටත් නොකියාමය.

වැඩසටහන අවසානයේ පුෂ්පකුමාර අපෙන් සමු ගත් සැනින්, වැඩසටහනේ දෙවන නිෂ්පාදක මධුෂංක ඉරෝෂාන් පැමිණ කීවේ

“අක්කා මමත් එනවා වැඩේට. අපි දෙන්නම මේ පුහුණුව ලබා ගමු. මමත් හරිම ආසයි.” යනුවෙනි.

පුහුණුවීම් වලට මධුශංකත් මා හා  ඒකවීමට  සූදානම්. අපි ලබන සතියේ සුදානම් ජීවිතාරක්ෂක පිහිණුම් පුහුණුව ලැබීමට.

Share this article
Related Reading

More from මට හිතෙන හැටි

මට හිතෙන හැටි 01

මට හිතෙන හැටි 01

පුංචි කාලේ ඉදන් තාත්තා මට පුරුදු කළා යන හැමතැනකම කුඩා සටහන් පොතක් (නෝට් බුක් එකක්) සහ පෑනක් ගෙනියන්න. එයා මට කියලා දුන්නේ හැමවෙලාවෙම තමන් දකින, විදින අළුත් දේවල් අමතක වෙන්න කළින් ල...

Read More
මට හිතෙන හැටි… 06

මට හිතෙන හැටි… 06

ජංගම දුරකතනය නාදවෙද්දී එහි සටහන් වූයේ බෝගල ශාන්ත ගේ නමයි. මසකට වරක් දෙවරක් හෝ තුන්වරක් මෙම අංකයෙන් මට ඇමතුමක් ලැබෙයි. වසර පහක් පුරා ඒ අංකය එලෙස නාද වෙයි.

Read More
මට හිතෙන හැටි 08

මට හිතෙන හැටි 08

පරාජය වෙනුවට ජයග්‍රහණය සොයා යන කියවීමේ පිපාසය. ඕෂෝ (භගවාන් ශ්‍රී රාජ්නිෂ්) නමැති ඉන්දියානු චින්තකයාගේ පොත් කියවීමට මා ප්‍රිය ය. ඔහුගේ අදීන අදහස් සහිත කෘතියක් වුණු courage නමැති...

Read More